Deprecated: Methods with the same name as their class will not be constructors in a future version of PHP; ImgResizer has a deprecated constructor in /home2/sitecor1/public_html/classes/imgresizer.php on line 2

Foot Steps



ශ්‍රීපාදස්ථානය - හපුගස්තැන්න (දෙහෙනකන්ද - මුක්කුවත්ත) මාර්ගය

ශ්‍රීපාදස්ථානය - හපුගස්තැන්න මාර්ගයට ප්‍රථමයෙන් දර්ශනය වන අවස්ථාව
ශ්‍රීපාදස්ථානය - හපුගස්තැන්න මාර්ගයට
ප්‍රථමයෙන් දර්ශනය වන අවස්ථාව
හපුගස්තැන්න මාර්ගය කුරුවිට මාර්ගයට, මහගිරිධබේදී, සම්භන්ධ වන ස්ථානය
හපුගස්තැන්න මාර්ගය කුරුවිට මාර්ගයට,
මහගිරිධබේදී, සම්භන්ධ වන ස්ථානය
Info : Pettah Bus Station
: Friday 04:00, December 2010
: Pettah Bus Station
: Monday 21:00, December 2010
: Public Bus Service
: Sripadasthanaya
සූර්ය ප්‍රභා මන්ඩල
සූර්ය ප්‍රභා මන්ඩල
Participants Malinda Sir & Indika & Me - Organizers, Uthpala, Sidhath, Kithsiri, Tharidu, Wasantha(Ukkuwa), Ravindu(Wisse), Anuruddha(Gomas), Pubudu, Harsha(Tarzan)

පළමු දිනය

උදෑසන 4:00ට කොළඹ පිටකොටුව බස් නැවතුමෙන් පිටත් වූ රතනපුර බසයකට ගොඩ වු අප උදෑසන 7:16ට රත්නපුරයට සේන්දු විය. උදෑසන 8:20ට යාමට නියමිත දෙහෙනකන්ද බස් රථය පැමිනෙන තුරු බස් නැවතුමේ රැදී සිටින විට එම බසය 8ට පමන දෙහෙනකන්ද සිට පැමිනියේය. නමුත් බසයේ යාන්ත්‍රික දෝෂයක් නිසා එදින නැවත ධාවනය කිරීමට අදහසක් තිබී නොමැත. නමුත් අප පිරිස නිසා රියදුරු සහ කොන්දොස්තර මහතුන් බසය ධාවනය කිරීමට තීරණය කලේය. අපව බසයට නංවාගත් ඔවුන් කෙලින්ම ගියේ රත්නපුර ලංගම බස් ඩිපෝවටය. එහිදී බසය සෑදීමට උත්සහ කලද එය අසාර්ථක විය. එම නිසා වෙනත් බසයක් එම ගමන සදහා යෙදවුනි.

බසය උදෑසන 10:15ට පමන මුක්කුවත්තට පැමිනීයේය. සාමාන්‍යයෙන් බසයෙන් බැස මුක්කුවත්ත දක්වා මිටර 750ක පමන යාමට ඇත. එනමුත් බසයේ රියදුරු මහතා අපව මුක්කුවත්ත දක්වා ගෙනගොස් දැමීය. මුක්කුවත්තේ සිට සිරිපා අඩිපාර ආරම්භ වන ස්ථානය දක්වා මිටර 750ක පමන දුරක් අපව රැගෙන ගියේ රවී නැමැති එම ගමෙහි මහතෙකි. මුක්කුවත්ත ලයින් කාමර පසු කර තේ වත්ත මැදින් ටික දුරක් ගිය විට කුඩා බදු පිළිමගෙයක් හමු වෙයි. එම බුදු පිළිමය ලගින් පහළට බැස්ස විට විශාල ගංගාවක් හමු වෙයි. එම ගංගාව ගැම්මුන් විසින් හදුන්වන්නේ “මා ගග“ නමිනි.

ගග තරණය කර ඒ අසල පිහිටි මඩුවක ගමනට සූදානම් වු අප, සමන් දෙවියන් සිහි කර පඩුරු අතේ ගැටගසා ගත්තේ රවී මහතාගේ ද උපකාරයෙනි.

Info සිරිපා වන්දනාව ආරම්භයට පෙර සමන් දෙවියන් සිහිකර, නඩය කිසිදු අතුරු ආන්තරාවකින් තොරව සිරිපා මළුවට ගෙන යන ලෙස ඉල්ලා, පඩුරක් සුදු රෙද්දක දවටා අතේ ගැටගසා ගනියි. මහගිරිදඹේ දී හමුවන ඇසල කනුව ලගදී මෙම පඩුර ගලවා නඩය කිසිදු අතුරු ආන්තරාවකින් තොරව ගෙන ඒම සම්බන්දයෙන් දෙවියන්ට ස්තූති කරමින් ඇසල කනුවේ ගැට ගසයි.
පඩුරු
පඩුරු

මෙසේ ගමනට සූදානම් වී, අපව ආරම්භක ස්ථානය පෙන්වූ රවීට ස්තූති කරමින් සමුදුන්නේය. ඉන්පසු සිරිපා කරුනාව ආරම්භ විය. එවිට වේලාව උදෑසන 11:04 විය.


සිරිපා සමය ආරම්භ වී තවමත් ගතවී තිබුනේ එක් සතියක් පමනක් බැවින් පාර තවමත් කැළෑවෙන් වැසී පැවතුනි. නමුත් අඩිපාර සොයා ගැනීම එතරම් අපහසු නොවීය. ඇතැම් ස්ථාන වලදී අඩි 10ක් පමන පළල් වන අඩිපාර තවත් ස්ථාන වලදී කැළයෙන් වැසී පැවතුනි. ගමන අතරතුර සවස 1:20ට පමණ සිතියමෙ සදහන් “බැදිගල“ ලෙස අප සැලකූ (පසුව අපගේ නිගමනය වැරදි බව අපට අවබොධ විය) කුඩා ගල්කුලක් ලග සිට කෝපි පානයක් සමග බස්කට් ආහාරයට ගත්තේ දිවා ආහාරය ලෙසය. ඉන්පසු නැවත ගමන ආරම්භ කල අප අඩි 10ක් පමන පළල කැළෑ පාරකට සේන්දු විය. මෙම මාර්ගයේ දිගටම ගිය විට එය සැනින් කුඩා අඩි පාරක් බවට පත් වී ටික දුරකින් අඩිපාර ද නැති වී ගියේය. ඒ අසලම වම් පැත්තෙන් විශාල ගල් පර්වතයක් දිස්විය. එතැන් සිට මාර්ගය සොයා ගැනීම අපහසු විය. කුඩා අඩිපාරක් පැවතියද එය ගමන් ගත්තේ රා මැදීමග යොදාගත් කිතුල් ගසකටය. අවට කැලය මදක් විපරම් කර කුඩා අඩිපාරක් සොයා ගත්තද ඒවාද ගමන් ගත්තේ කතුල් ගස් වෙතය. මෙසේ හොරාවක පමන කාලයක් තැනින් තැන නැති වී ඇති වු අඩිපාරවල් දිගේ අප පැයක පමණ කාලයක් ගමන් කළ ද ඒවා අවසානයේ සේන්දු වුයේ රා මැදීමට යොදාගත් කිතුල් ගස් වෙතය. තවත් කරුණක් අපගේ තත්වය දරුණු කලේය. එය නම් අප මෙම පැයක් පමන කාලය ගමන් කලේ කන්දේ පහළට වීමය. මාර්ගය වැරදුනු බව තේරුම් ගත් අප නැවතත් මුලින්ම පාර වැරදුනු ස්ථානයට ආපසු ගමන ආරම්භ කලෙමු. නමුත් අප මද දුරක් මෙසේ පැමිනෙන විට වර්ෂාව ආරම්භ විය. තද වර්ෂාව මධ්‍යයේ මාර්ගය මුලින්ම වැරදුනු ස්ථානයට සේන්දු වන විට වේලාව සවස 5ට පමන වන්නට ඇත.

අදුරද වැටීගෙන එයි. වැස්සද තදය. අප ඉකමනින් කූඩාරම් ගැසීමට සහ කෑම පිසීමට ස්ථානයක් සොයා ගත යුතු විය. මාලින්ද සර්ගේ අදහසක් අනුව මා කලින් සදහන් කල අප පැමිනි අඩි 10ක පමන මාර්ගය දිගේ පසු ගමන් කලේ, එම මාර්ගය දිගෙ ගලා ගිය කුඩා දිය පහරක් (දිය සීරාවක්) දැක තිබූ බැවිනි. එම ස්ථානයට මීටර 500ක් පමන ගමන් කල යුතු විය. එනමුත් දිය පහර අසල කූඩාරම් ගැසීමට ස්ථානයක් නොතිබුනි. එම නිසා ඊට මීටර 100ක් පමන උඩින් පිහිටි ස්ථනයක මාර්ගය අයිනේ කැලෑව එළිකර කූඩාරම් ගැසීම ආරම්භ කලේය.

වැස්සේ කූඩාරම් ගසමින්
වැස්සේ කූඩාරම් ගසමින්

පිරිසක් කෑම පිළියෙල කිරීම සදහා දියපාර දෙසට ගමන් කලේය. අප රැගෙනවිත් තිබූ කූඩාරම් 3 පාර අයිනේ ගැසූයේ තද වර්ෂාව මධ්‍යයේ ය. එය අවසන් කල අප සියලු දෙනා කෑම පිසින තැනට එක් රොක් විය. වර්ෂාව මධ්‍යයේ කුඩයක් ඉහලා ගෑස් ලිප ආරක්ෂා කරමින් කෑම පිසින, තවත් පිරිසක් කෑම පිසින දෙස වැස්සේ තෙමි තෙමී බලාසටින දර්ශනය ඔබ දැක තිබේ ද? :-) තද වර්ෂාව මධ්‍යයේ, කැළෑ පාරක, දිය සීරාවක් ගලා යන ස්ථානයක, තුන්දෙනා බැගින් එක් කෑම පිගානක් වටා එක් රොක් වී, සිටගෙන කෑම කන දර්ශනය ඔබ දැක තිබේ ද? බත්, පරිප්පු සමග අප රැගෙන ගොස් තිබූ බටු මෝජු ආහාරයට ගත්තේය. හොදි වලින් නම් අඩුපාඩුවක් නොතිබුනේ වැසි ජලය බත් පිගන්වලට නොඅඩුව වැටුනු බැවිනි.

මෙසේ ආහාර ගෙන නැවත කූඩාරම් දෙසට පැමිනි අප දුටුවේ කූඩාරම් තල ජලය රැස් වී ඇති බවයි. මෙයට හේතුව අප කූඩාරම් ගැසූ මාර්ගය දිගේ කුඩාවට ජලය ගලාගෙන යාමයි. කෙසේ හෝ කූඩාරම් තුලට ඇතුළු වු අප තෙත ඇදුම් මාරු කර අලුත් ඇදුම් ඇද ගත්තේය. ඒ වන විට වර්ෂාව අඩු වය. එම නිසා කූඩාරම් පිසදමා තෙමී නොමැති හරියෙන් වකුටු වී නදා ගත්තේය.

කූඩාරම් ගැසීම
  • කූඩාරම ගැසීමට පෙර, පොලොවට ඉටි කොලයක් දමා, එය මත කූඩාරම ගසන්න.
  • කූඩාරම ගසන භූමිය බිමට කොළ අතු කපා දැමීම උණුසුම රදවා ගැනීමට උපකාරී වෙයි.
  • කූඩාරම දෙසට ජලය ගැලිය හැකි දිශාවෙන් කුඩා අගලක් කැපිය හැකිය.
  • කූඩාරමේ නිදා සිටියදී සීතල දැනෙන්නේ නම්, බිමට ශරීරය වදින වර්ගඵලය අඩුවන ලෙස, ඇල අතට නිදාගන්න.

දෙවන දිනය

උදෑසන 6ට පමණ අවදි විය. කලින් දින රාත්‍රියේ කඩින් කඩ වුව ද නින්දක් ලැබීම විශාල සහනයක් විය. උදෑසන කෝපි පානය කර කලින් දින රාත්‍රියේ ඉතිරිව තිබූ කෑම ස්වල්පය බැගින් ආහාරයට ගෙන ගමනට සූදානම් විය. අපව අඩිපාර ආරම්භක ස්ථානයට රැගෙන පැමිනි මුක්කුවත්තේ පදිංචි රවී මහතාට දුරකතන ඇමතුමක් ගත්තේ අපට ප්‍රශ්නයක්ව තිබූ 'බැදිගල' කුමක්දැයි අසා දැන ගැනීමටය. සිතියමේ 'බැදිගල' නමින් තිබූ ගල ගම්මුන් එම නමින් දැන නොසිටියේය. මාර්ගය වැටී ඇත්තේ විශාල ගලක් අයිනෙන් බව පමනක් අසා දැනගැනීමට සමත් විය.

මාර්ගය වැරදුනු ස්ථානය
මාර්ගය වැරදුනු ස්ථානය

එසේනම් ඒ ගල, අපට මාර්ගය වැරදුනු තැන වම්පස තිබූ විශාල ගල යැයි අනුමාන කල අප නැවතත් කන්ද නැගීම ආරම්භ කලේය. මෙසේ අපහට මාර්ගය වැරදුනු තැනට මදක් කලින්, කැළෑවෙන් වැසුනු ගල් පෙළක් අපට හමු විය. එය සුද්ද කරගෙන ඉදිරියට යාමේ දී එය අප සදහන් කල විශාල ගලේ වම් පසින් තිබූ අඩි පාරකට සම්බන්ධ විය.

Traveler Tips අවාර කාලයේදී කැළෑවේ වැඩිපුරම භාවිතා වෙන්නේ රා මැදීමට යන පාරවල් ය. ශ්‍රීපාදස්ථානයට මිනිසුන් අවාරයේ ගමන් නොකරන නිසා, නියම මාර්ගය කැළයෙන් වැසී යයි.

ඇත්ත වශයෙන්ම සිදු වී තිබුනේ මෙයයි. අප භාවිතා ක‍ලේ අගලේ සිතියමකි. එහි “බැදිගල“ නමින් ගලක් සටහන් වෙයි. මාර්ගය වැටී ඇත්තේ එම බැදිගලට වම් පසිනි. ඉන්පසුව විශාල ගල් පර්වත 2ක් මධ්‍යයෙන් මාර්ගය වැටී ඇති බව පෙන්වයි. අප බැදිගල ලෙස හදුනාගත්තේ අප පළමු දින තේ පානය කල ස්ථානයේ තිබූ කුඩා ගලයි. එම නිසා, අපට මාර්ගය වැරදුනු ස්ථානයේ තිබූ ගල, අප හදුනාගත්තේ අර විශාල ගල් පර්වත 2න් වම්පස ගල ලෙසය. එම නිසා අප මාර්ගයක් සෙවුවේ එම ගලේ දකුණු දෙසිනි. නමුත් ඇත්තටම බැදිගල යනු අපට මාර්ගය වැරදුනු ස්ථානයේ තැබුනු ගලයි.

මෙම ස්ථානය පසු කල පසු මාර්ගය පැහැදිලිය. ගප්තය. අප සාමාන්‍යයෙන් වෙනත් වනාන්තර වල දැක නොමැති පුරාණ ගතියක් මෙහි දැකිය හැකිය. මාර්ගය ද ඉතා ගප්තය. සමහර ස්ථානවල පාර පුරා ම මකුළු දැල් බැද ඇත. එය අප බොහෝ දෙනෙකුට සිහිපත් කලේ 'රොබින් හුඩ්' ඉංග්‍රීසි නාට්‍යයේ රොබින්හුඩ්ලා සැගවී සිටි වනාන්තරයයි.

කෙසේ හෝ මෙම මාර්ගය දැඩි බෑවුමක් සහිතය. මෙසේ උදෑසන 11 පමන වන තුරු බෑවුම තරණය කල අප කදු මුදුනකට පැමිනි සෙයක් වැටහුනේ සමතලා මාර්ගයකට සේන්දු වූ හෙයිනි.

මෙසේ යන විට පාර අයිනේ කන්ද කපා පැරණි පැලක් සාදා තිබුනු ස්ථානයක් හමුවිය. එය කූඩාරම් ගැසීමට කදිම ස්ථානයකි. එයට මදක් ඉදිරියෙන් මදක් විශාල දිය පහරක් ගලා යයි. එම ස්ථානයේ නැවතී දිවා ආහාරය ගැනීමට තීරණය විය. මෙම ස්ථානයෙන් පහළට කැළය තුලින් බැස්ස විට දිය නෑමට සුදුසු තටාකයක් වැනි කොටසක් හමු වෙයි. එතැනින්ද මදක් පහළට බැස්ස විට ඉතා අලංකාර දිය ඇල්ලකි. පිරිසක් කෑම පිසින අතර ඉතිරි පිරිස හොදින් දිය නා ගත්තේය. මෙසේ කොටස් වශයෙන් දිය නා, පිස තිබූ බත් සමග තෙල් දැමූ අල ආහාරයට ගත්තේය.

ජලය
ජලය
ආහාර ගත් ස්ථානයේ දිය ඇල්ල
ආහාර ගත් ස්ථානයේ දිය ඇල්ල
හෙළ අයිනේ ආහාර ගනිමින්
හෙළ අයිනේ ආහාර ගනිමින්

ඉන්පසු නැවතත් ගමන ආරම්භ කරන විට වේලාව දවල් 1 පමණය. මෙතැන් සිට මාර්ගය බෑවුම්, තැනිතලා, නිම්න, හෙල් හරහා වැටී පවතී. බොහෝ ස්ථාන වල ගස් වැටී, කැළෑවෙන් වැසී තිබුනි. නමුත් මෙම ප්‍රදේශය ගම් වලින් බොහෝ දුර හෙයින් මාර්ගය වැරදීමට අවස්ථාව අඩුය. (වෙනත් වැරදි මාර්ග නැත). අප ඉදිරියෙන්ම, කැළෑව සුද්ද කරමින් යාමට නඩයේ සාමාජිකයෙකු යෙදවීමට සිදු විය. මෙසේ නොනවත්වා ගමන් කල අපට, සවස 4:20ට පමන නැවතත් තරමක් තද බැස්මක් හමුවිය. කලින් දින ද මාර්ගය වැරදී වු ඇබැද්දිය නිසා සියල්ලන්ම සිටියේ මද තැතිගැන්මකිනි. වර්ෂාව ආරම්භ වීමට පෙර කූඩාරම් ගැසීමට තැනක් සොයාගත යුතු විය.

Fun සවස 2:30ට පමන අප ගමන් කරමින් සිටියදී එක් විටම මාර්ගය ඉදිරියෙන් කන්දක් දිසිවිය. අපට එය පෙනුනේ සිරිපාද කන්ද ලෙසය. මෙම ගමනේ නඩේගුරා වූයේ මා ය. අප සමග නඩයේ පැමිනි මල්ලිලා එම කන්ද පෙන්වා එය ශ්‍රීපාද කන්ද දැයි විමසුවේය. එහි හැඩය ද ශ්‍රීපාද කන්දට සමානය. මා ද එය ශ්‍රීපාද කන්ද ලෙස සැලකූ හෙයින් බොහො දෙනා සාදුකාර දෙන්නට විය. නමුත් එතැනදී මැප් එක දග හැර බැලූ විට, එය 'බෑන සමනල' ලෙස නිගමනය කිරීමට සිදුවිය. :-D
Info මෙවැනි අමාරු මාර්ග වලින් ගමන් කරන විට ශ්‍රීපාදස්ථානය පිළිබද තිබෙන ගෘරවය, ශ්‍රද්ධාව ඉතා වැඩිය. නඩයේ කිසිම කෙනෙකු මාර්ගය පහසු හෝ අමාරුයි කියා හෝ නුසුදුසු දේවල් හෝ කියා කට වරද්දා ගන්නේ නැත.

එමනිසා කිසිදු නැවතීමකින් තොරව දිගටම ගමන් කලේය. අප සිතුවාට වඩා බැස්ම දිගු වීම අපගේ සිතට මද කරදරයක සලකුණු ගෙන ආවද මර්ගය තැනින් තැන හොදින් තිබූ නිසා, දිගටම ගමනේ යෙදුනි. මෙසේ හෝරාවක් පමන කන්ද බැසීමේදී අප විශාල ගගක් සමීපයට පැමිනියේය. එය දුටු විගසම අපගේ ඇගට සහ සිතට සහනයක් දැනුනි. ඒ කුමක් නිසාද යත් එය මීට පෙර මෙම මාර්ගයෙ මීට අවුරුදු 8කට පමන පෙර ගමන් කල නඩයක් (හිරුන අයියා සහ ඔහුගේ නඩය) වෙබ් පිටුවක දමා තිබු පින්තූර වල සටහන් වූ ස්ථානයක් බව දුටු පමණින් හදුනාගත් හෙයිනි.

දෙවන දින කූඩාරම් ගැසූ ගංගාව
දෙවන දින කූඩාරම් ගැසූ ගංගාව
කූඩාරම් තුල ඉඩකඩ මද විය
කූඩාරම් තුල ඉඩකඩ මද විය

එවිට වේලාව සවස 5:20ට පමන ඇත. එවිටම වාගේ වර්ෂාව ඇද හැලීමට පටන් ගත්තේය. අපගේ වාසනාවට දැන් එම ස්ථානයේ ගග අයිනේ මඩුවක් ගසා ඇති තැනක් හමුවිය. මඩුවේ ඉතිරිව තබුනේ දඩු ටික පමණක් වුවද එම ස්ථානය කූඩාරම් ගැසීමට ඉතාම සුදුසුය. බිමට වටපිටින් කඩාගත් කොළ අතු දමා එයට උඩින් ඉටිකොළ දමා කූඩාරම් 2ක් ගැසූ අප කෝපි පානයකින් පසු නින්දට පිවිසියේ රාත්‍රී ආහාර නොගෙනය. දැඩි මහන්සිය සහ වර්ෂාව අප ආහාර නොගෙනම නින්දට යාමට හේතුවිය. එදින කලින් දින මෙන් තද වර්ෂාවක් නොපැවතිය ද කූඩාරම් තුලට ජලය මද වශයෙන් පැමිණ තිබුනි. කෙසේ හෝ ඉඩකඩ සාදාගෙන නිදා ගැනීමට උත්සාහ දැරීය. වර්ෂාව ටික වේලාවකින් නතර වීම විශාල සහනයක් විය. රාත්‍රියේ බොහෝ වේලාවක් යන තුරු නින්ද නොගියේය. දොලොස් දෙනෙකුට කූඩාරම් 2ක් ඉඩ මදිය. කෙසේ හෝ උඩට පහලට ඇලට හිරී සියල්ලන්ම නිදා ගත්තේය.

තුන්වන දිනය

උදෑසන 6ට පමන අවදි වු අප තේ පානය කර අවට දර්ශන නැරඹීමට ගියේය. මෙය සැබෑම පාරාදීසයකි. එක් පසකින් කුඩා දිය පහරක් නිසල දිය විලකට එකතු වෙයි. අනෙක් පසින් එක විට කඩා හැලෙන විශාල දිය ඇල්ලකි. අප දිය ඇල්ල නැරඹීමට පහළට බැස්සේය. එය ඉතා අලංකාරය. එතැනදී මාගේ පය ලිස්සා මා ගල මත වැටුනු අතර මාගේ කැමරාව වතුරට වැටුනි. එනමුත් සමන් දෙවි පිහිටෙන් කිසිදු ශරීර ආබාධයක් සිදු නෙවින. කැමරාව පමණක් නැවත භාවිතයට ගත නොහැකි ලෙස විනාශ විය. මෙම ස්ථානයේ අලංකාරය විස්තර කිරීම මා පින්තූර වලට පවරමි.

පාරාදීසය
පාරාදීසය
පාරාදීසයේ විශාල දිය ඇල්ල
පාරාදීසයේ විශාල දිය ඇල්ල
පාරාදීසයේ කුඩා දිය ඇල්ල
පාරාදීසයේ කුඩා දිය ඇල්ල

උදෑසන ආහාර ලෙස බත් සමග පරිප්පු සහ ලුනු සම්බෝලයක් පිළියෙල විය. ඉන්පසු සියල්ලන්ම සීතල ජලයේ බැස නා පිරිසිදු විය. කෝඩුකාරයන් 5 දෙනෙකු අප නඩයේ සිටියේය. ඔවුන් දෙහි සහ කහ ආලේප කර සීතල ජලයේ බැස ස්නානය කලේය.

Traveler Tips මෙම ගංගාව 'බත්තුළු ඔය' ලෙස පසුව සිතියම නිරීක්ෂණයෙන් සොයා ගත්තේය.
ශ්‍රීපාදස්ථානය
ශ්‍රීපාදස්ථානය

ඉන්පසු උදේ ආහාරය හොද හැටි ගත් අප ගමනට සූදානම් විය. එතැනින් උදෑසන 11:30ට පමන ගමන ආරම්භ කලෙමු. හෝරාවක පමන තද නැග්මකින් පසු කදු මදුනකට පැමිනියේය. එහිදී අපට මෙම ගමනේ ප්‍රථම වතාවට ශ්‍රීපාදස්ථානය සහ මළුව පෙනුනේය. අප සියලු දෙනාම ශ්‍රද්ධාවෙන් සාදුකාර දුනි. එතැන් සිට මාර්ගය මද බැස්මකින් යුක්ත විය. කළුගල් තලා මත ද ගමන් කිරීමට සිදු විය. මෙම ගල් තලා ලිස්සන සුළුය. අප නඩයේ කීපදෙනෙකු ලිස්සා වැටුනේය. එක් යහළුවෙකු ලිස්සා වැටීම නිසා ආබාධයකට ලක් විය. කෙසේ හෝ අප අවසානයේ මදක් විශාල ගංගාවක් අසලට පැමිණියේය. එතැන මද විවෙකයක් ලබාගත් අප ගමන නැවත ආරම්භ කලෙමු.

මෙය සිරිපා කන්දය. මාර්ගයේ නැග්මද ඉතා වැඩිය. කොතරම් තද නැග්මක්දැයි කවුවහොත් මීට කලින් දිනවල අප සමතලා භූමියක ගමන් කලා යැයි සිතෙයි. :-) කිසිම තැනිතලාවක් නොමැතිව අංශක 60ත් 70ත් අතර බෑවුමක අප ගමනේ නිරත විය. සිරිපා මළුව, මහගිරිදඹ සැරින් සැරේ පෙනී නොපෙනී යයි. මා ඇතුලු අප තිදෙනෙක් අනෙක් නඩයෙන් වෙන්වීම අප අතින් සිදු වු වරදකි.

Traveler Tips නඩේගුරා ලෙස කටයුතු කරන්නේ නම්, ඔහු නඩයේ සියලුම වගකීම ගත යුතුය. අමාරු අවස්ථාවල නඩය ධෛර්යමත් කිරීම ඔහුගේ වගකීමකි.

බොහො දුරක් කන්ද නැග්ග පසු නඩයේ අනෙක් කොටස නොමැති බව තේරුම්ගත් අප නතර වී පැය බාගයක් පමන බලා සිටියේය. එනමුත් එතැන නතර වී සිටීම ඉතා අපහසු විය. දැඩි සීතල, මීදුම සහ සුළග අපට හිරිහැර කලේය. එමනිසු අප නැවතත් කන්ද තරණය ආරම්භ කලෙමු. ස්වල්ප වේලාවක් මෙසේ යන විට වතුර මෝටරයක ශබ්දය ඇසුනි. තවත් ස්වල්ප වේලාවකින් විදුලි රැහැන් ද ඉන්පසුව වතුර පොම්ප සහිත ගොඩනැගිල්ලක් ද දර්ශනය විය. ඉන්පසුව දුටුවේ කුරුවිට මාර්ගයේ මහගිරිදඹේ පඩිපෙල සහ යකඩ වැටයි.

අපගේ මුවින් සාදුකාරයක් පිට වුයේ නිතැතිනි. කුරුවිට මාර්ගයේ මෙම ස්ථානය පසු කරමින් අප කිහිපවිටක් සිරිපා වන්දනා කර ඇත. එනමුත් ඒ කිසිදු අවස්ථාවක මෙම තිබෙන කැළෑව හරහා අඩි පාරක් ඇතැයි නොසිතුනි. මෙම අද්දැකීම ඉතාම පුදුමාකාර හැගීමක් ජනනය කලේය. මහගිරිදඹේ පඩිපෙලෙහි වාඩි වූ අප, අනෙක් අය පැමිනෙනතුරු විවේක ගත්තේය.

මහගිරිධඹට සම්බන්ධ වන ස්ථානය
මහගිරිධඹට සම්බන්ධ වන ස්ථානය
මහගිරිධඹට සම්බන්ධ වන ස්ථානය
මහගිරිධඹට සම්බන්ධ වන ස්ථානය
මහගිරිධඹ නගිමින්
මහගිරිධඹ නගිමින්

ඒ අතරතුර අපට රත්නපුර මාර්ගයේ පැමිනි පිරිසක්, අප පැමිනි මාර්ගය පිරික්සනු පෙනුනි. ඒ සමග ඩවුන් 'කවුරු හරි මෙතැනින් ඇවිල්ල තිබෙනවා' යැයි පැවසීය. අප ඩවුන්ට කියා සිටියේ එම මාර්ගයේ පැමිනියේ අප බවයි. ඔවුන් සමග කතාවෙන් දැනගත්තේ ඔවුන් මුක්කුවත්ත ගම පහළ පදිංචි පිරිසක් බවයි. හපුගස්තැන්න මාර්ගය වාරය සදහා ඒ වනවිටත් සකසා නොමැති බැවින් ඔවුන් එරත්නට ගොස් රත්නපුර මාර්ගයේ පැමින ඇත.

Traveler Tips මුක්කුවත්ත ගම්මුන්ගෙන් දැනගත් පරිදි ගම්වාසීන් සිරිපා වාරය ආරම්භ වු පසුව ශ්‍රමදානයක් දමා අඩිපාර එළිපෙහෙළි කරයි. එනමුත් එය සිදු වන්නේ සිරිපා වාරය ආරම්භවී සති දෙක තුනක් ගිය පසුවය.

මද වේලාවකින් අපගේ නඩයේ සාමාජිකයන් සියලුදෙනා කිසිදු කරදරයකින් තොරව එතැනට ලගා වීම අස්වැසිල්ලක් විය. එවිට වේලාව සවස 4:30ට පමනය. මෙම ස්ථානයෙන් ඉහලින් කිසිදු කඩයක් නොමැත. එමනිසා පහලට බැස ඇසල කනුව කඩමන්ඩියෙන් වතුර රැගෙන පැමිනි අප තේ පානයක් සකස් කර පානය කලේය. ඉන්පසු සිරිපා කරුණාව නැවත ආරම්භ විය. විනාඩි 10ක පමන ගමනකින් පසු ඇසළ කනුව සමීපයට පැමිනියේය. එතැනදී අප අතේ බැදි පඩුරු ගලවා, අපව ආරක්ෂාකාරී ලෙස ගෙන ඒම සම්බන්ධයෙන් සමන් දෙවියන්ට ස්තූති කරමින් ඇසළ කනුවේ පඩුරු ගැට ගැසුවේය. කොඩුකාරයන් ඉදිකටුවට නූල් අමුනා නූල් ඇද්දේය. මෙසේ ස්වල්ඵ වේලාවකින් මළුවට සැපත්වීමට අප සමත් විය.

ඉන්පසු වන්දනාකරුවන්ගේ නවාතැන්පලෙහි අයිනක අප නිදාගැනීමට සකසා ගත්තේය. සිරිපා මළුව පොලිසියේ ඕ.අයි.සී. මහතා අපහට උණුසුම් තේ පානයකින් සංග්‍රහ කිරීමට තරම් කාරුණික විය.

මේ අතර අප පුදුමාකාර දර්ශනයක් නැරඹීමට හැකි විය. එයනම් සූර්ය ප්‍රභා මණ්ඩලයි. සාමාන්‍යයෙන් මෙම දර්ශනය ඉතා විරල සිදුවීමකි. මෙය බොහෝ විට දැක ගැනීමට අවස්ථාව ලැබෙන්නේ ගුවන් යානා නියමුවන්ට සහ අභ්‍යාවකාශගාමීන්ටය. අපට ද එම දර්ශනය දැක ගැනීමට ලැබීම ඉතාම සතුටුදායකය.

සූර්ය ප්‍රභා මන්ඩල
සූර්ය ප්‍රභා මන්ඩල

සූර්යයාගෙන් රැස් වළලු මෙන් වරණ හතට අදාල වළලු එකින් එක නිකුත් වෙයි. ඒවා කුඩා රවුම් ලෙස ආරම්භ වී ටිකෙන් ටික විශාල වී නොපෙනී යයි. තවද සූර්යයා කීපවිටක්ම බැස ගොස් නැවත පායා එයි. මෙම දර්ශනය වචනයෙන් හෝ පංතූරයෙන් සැබෑ ලෙස විස්තර කිරීම ඉතා අපහසුය. එය ඉතා අලංකාරය. ඉතා චමත්කාරජනකය.

එය නැරඹීමෙන් පසු මුහුන කට සොදාගත් අප සිරිපා පද්මය වන්දනා කිරීමට ගියේය. කෝඩුකාරයන් සිරිපා වන්දවා අප සියලු දෙනා සිරිපාදය වටා වට 7 පැදකුණු කලේය. ඉන්පසු, කෝඩුකාරයන් හැර අන් සියලු දෙනා තමන් පැමිනි වාර ගණනට ඝන්ඨාරය නාද කලේය.

රාත්‍රී ආහාර ලෙස බත්, පරිප්පු සහ අල බැදුමක් සූදානම් විය. එය ආහාරයට ගත් අප නින්දට වැටුනේය. රාත්‍රිය ඉතා දැඩි සීතල විය. නින්ද ලැබුනේ කඩින්කඩ ය.

හතරවන දිනය

උදෑසන 5:20ට පමන අවදි වී කෝපි පානයක් සූදානම් කල අප එය අවට සිටි අනෙකුත් වන්දනාකරුවන් සමග පානය කලේය. එදින ඉර සේවය දැකගත නොහැකි විය. එයට හේතුව වුයේ අහස වලාකුලු වලින් වැසී පැවතීමයි. ඉන්පසු උදෑසන 7ට පමන හැටන් මාර්ගයෙන් බැසීම ආරම්භ විය. අප නඩයේ පිරිසක් ඉක්මනින් බැස්ස අතර පිරිසක් සෙමින් බැස්සේය. කෙසේ හෝ සියල්ලන්ම නල්ලතන්නියට එන විට වේලාව සවස 1 පමණ විය. නල්ලතන්නියෙන් දිවා ආහාරය ගෙන බසයකින් හැටන් පැමිනි අප, හැටන් වලින් කොළඹට බසයක් ගෙන රාත්‍රී 9ට පමන කොළඹට ලගා විය. අවසානයි.




Useful Links www.lakdasun.org : Dehena Kanda to Sri Pada

Thanks
  • Mukkuwatta Ravi for his help.
  • Hiruna aiya for his information.
  • Kithsiri, Indika for their photos.
Last Updated : 06/02/2011
copyright © www.footsteps.lk, 2010